27th September 2023 21:13:52 Hours
එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා කාන්තාවන්ගේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින්, එක්සත් ජනපද නියෝජිත කණ්ඩායමක් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 22) දින කුකුළේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.
නිල සංචාරය සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමේ වයලෙටා රෝමන් මහත්මිය (Ms. Violeta Roman) - එක්සත් ජනපද දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය, වැලරි ඈන් බෙග්ලේ මහත්මිය (Ms. Valerie Ann Beglay) - එක්සත් ජනපද දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය, ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් (Colonel Anthony Nelson) - ආරක්‍ෂක උපදේශක කොළඹ, එක්සත් ජනපද තානාපති කාර්යාලය, මැතිව් හින්සන් මහතා (Mr. Mathew Hinson) - දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරී කොළඹ, එක්සත් ජනපද තානාපති කාර්යාලය, කපිතන් කයිට්ලින් පෙනිකුක් (Captain Caitlin Pennicooke) - විදේශ කටයුතු නිලධාරී, කොළඹ, එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ කපිල දිසානායක මහතා - ආරක්‍ෂක සහයෝගිතා විශේෂඥ, ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලය ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
කුකුළේගඟ, සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී. ඒ රාජපක්ෂ ආර්එස්පී එදින කටයුතු මෙහෙයවනු ලැබූ අතර, එම පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ජී.එච් අමිත විසින් පැමිණි පිරිස වෙත මෙම ආයතනය සහ යුද්ධ හමුදාවක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දක්වන දායකත්වය පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමක් සිදුකරනු ලැබීය.
නියෝජිත කණ්ඩායම සාම සාධක කටයුතු සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා කාන්තාවන්ගේ දායකත්වය වැඩි කිරීම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරමින් සාකඡ්චා කටයුතු සිදුකළේය. නියෝජිත පිරිස සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ දැනට පවතින පුහුණු පහසුකම් නැරඹීමට ද එක් වෙමින් 2024 වසරේ පුහුණු කාලසටහන සඳහා ‘Global Peace Operations Initiative (GPOI)’ වෙතින් වැඩි දායකත්වයක් ලබා දීම පිළිබඳව සාකච්ඡා කළහ.
සාකච්ඡාව අවසානයේ, සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායකතුමන් සහ පැමිණි නියෝජිතයින් අතර, සුහඳත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කර ගන්නා ලදී. මෙම අවස්ථාවට මේජර් පී.ඒ.එස් කුරේ, මේජර් කේ.එච්.ඩී මෙන්ඩිස්, මේජර් ඩබ්ලිව්පීජී කලණි, ලුතිනන් ඩබ්ලිව් එල් ඒ ද සිල්වා සහ සෙසු නිලයින් තිදෙනෙකුද සහභාගී වූහ.