Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2023 18:50:47 Hours

ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි දායකත්වයෙන් ගාල්ලේ ඓතිහාසික නගර සභා පුරහල ප්‍රතිසංස්කරණය කරයි

වර්ෂ 1800 දක්වා දිගු ඉතිහාසයකට උරුමකම්කියන ඓතිහාසික වටිනාකමකින් යුත් ගාල්ල නගර සභා පුරහලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 10 වන (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී සහබන්දු මහතාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 76 ක් පමණ වැය වූ අතර, ඒ සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ගාල්ල නගර සභාව විසින් ලබාදෙන ලදී.

10 වන (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වත්මන් අණදෙන නිලධාරී මේජර් ආර්.පී.ඒ රෝහණ ඇතුළු එම ඒකකයේ හිටපු අණදෙන නිලධාරීන් තිදෙනෙකුගේ සමීප අධීක්ෂණය යටතේ 2020 වර්ෂයේ දී ආරම්භකරන ලද මෙම ව්‍යපෘතිය පසුගිය සෙනසුරාදා (14) දින නිමකිරීමට හැකි විය.

ප්‍රතිසංස්කරණය කරන ලද නගර සභා පුරහල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (14) දින පැවති උත්සවයකදී ජනතා අයිතියට පත් කරන ලද අතර, එම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කර්නල් සේනාවිධායක සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වූහ.