Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2022 10:57:42 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුවත් කරයි

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර සහිත ගෙවතු වගාව දිරිගැන්වීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් හරිත කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පාසල් සිසු සිසුවියන් සම්බන්ධ කර ගැනීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදී ‘එකමුතුකම සහ සහජීවනය මඟින් හරිත කෘෂිකාර්මික ගෙවතු වගාව ප්‍රවර්ධනය’ තේමාව ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් මත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

එහිදී, කාබනික පොහොර භාවිතය පිළිබඳව මෙන්ම පාසල් විෂය මාලාවේ කොටසක් වශයෙන් කාබනික පොහොර භාවිතා කරමින් ගෙවතු වගාව දිරිමත් කිරීමට වඩමාරච්චි විද්‍යාලයේ සිසු සිසුවියන් දැනුවත් කරන ලදී.

තවද, මෙම ව්‍යාපෘතිය පාසල් සිසු සිසුවියන්ගේ සහ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ගෙන් සහයෝගය ද ඉල්ලා සිටින ලදී. ඊට අමතරව, යුද්ධ හමුදා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ඇසුරුම් තොගයක් මෙම අවස්ථාවට සහභාගී වූවන් වෙත බෙදාදීමට ද කටයුතු කරනු ලැබීය.

ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රය තුළ සකස් කළ ‘ආදර්ශ ගෙවත්තේ’ විවිධ එළවළු වර්ගවල බීජ සහ පැළ ද රෝපණය කරන ලදී.

551 වන බලසේනාවේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න, 551, 552 සහ 553 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂන් මහතා, පේදුරුතුඩුව කරවෙඩ්ඩි සහ මරදන්කේනි ප්‍රාදේශීය ලේකම්වරුන්, වඩමාරච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, වඩමාරච්චි ප්‍රදේශයේ ස්ථාපිත පාසල් 12 ක පාසල් සිසු සිසුවියන් සහ 55 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් පිරිසක් දඑක්වූහ.