04th May 2023 19:13:04 Hours
මැදවච්චිය ප්‍රදේශයේ කුඩා පැල්පතක දරුවන් තිදෙනෙකු සමඟ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ වාසය කළ මවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයට අයත් 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 211 පාබල බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.
වෙළඳ නාවික ඉංජිනේරු එම්.එස්. අබේවික්‍රම මහතා, කොළඹ-7 රාජකීය විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරු භවතුන් සහ මැදවච්චිය කතෝලික දේවස්ථානයේ පූජකවරුන් විසින් ලබාදුන් රුපියල් මිලියන 3.5 ක වටිනාකමකින් යුත් ඒකාබද්ධ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස්හි ඉල්ලීමකට අනුව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා පර්චස් 20 ක බිම් කොටසක් වෙන් කරනු ලැබූ අතර 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ සම්බන්ධීකරණය මත රාජකීය විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරු භවතුන් සිය අනුග්‍රාහකත්වය දැක්වූහ.
හිසට සෙවණක් නොමැතිව දරුවන් තිදෙනෙකු සමඟින් දිවිගෙවූ නිවාසලාභී එම්.එල්. තරංගා සඳමාලි මහත්මිය පිළිබඳ යුද්ධ හමුදා භටපිරිස්හි අවධානය යොමුවීමෙන් අනතුරුව මෙම නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රම දායකත්වය ලබාදීම මත මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් නිවස ඉදිකිරීම සඳහා පර්චස් 20 ක ඉඩමක් ලබාදෙනු ලැබීය.
මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (මැයි මස 02) දින පැවති අතර එම අවස්ථාව සඳහා මැදවච්චිය කතෝලික දේවස්ථානයේ පූජකතුමන්, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න, ප්‍රධාන පරිත්‍යාගශීලි එම්.එස් අබේවික්‍රම මහතා, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතා, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී. මල්ලවආරච්චි මහත්මිය, 211 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.