Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th February 2023 20:00:57 Hours

අලුත උපන් බිළිඳුන්ගේ මව්වරුන්ට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දිරි දීමනා

කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලය, නාරාහේන්පිට මහජන බැංකු ශාඛාව සමඟ ඒකාබද්ධව ජාතික නිදහස් දින සැමරුම සනිටුහන් කරමින් 2023 ජනවාරි මස 01 දින සිට පෙබරවාරි මස 14 දින දක්වා කාලය තුළ බිළිඳුන් ප්‍රසූත කළ මව්වරුන් සඳහා මුදල් සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පෙබරවාරි මස 02 දින පැවති මෙම උත්සවයේදී යුද්ධ හමුදාවේ රාජකාරි කටයුතු සිදුකරනු ලබන අලුත උපන් බිළිඳුන්ගේ දෙමාපියන් 14 දෙනෙකු වෙත රු. 2000.00 බැගින් වූ නව බැංකු තැන්පතු සහ රුපියල් 8000.00 බැගින් වූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජානක විතානාච්චි සහ නාරාහේන්පිට මහජන බැංකුවේ කළමණාකාරිනී ඩබ්ලිව්.ඒ.එන්. පියසීලි මහත්මිය විසින් මව්වරුන් වෙත එම දිරිගැන්වීම් ප්‍රදානය කළහ.

මෙම අවස්ථාවට කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ කර්නල් සමන්ත කුමාරගේ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වූහ.