Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th December 2024 16:31:37 Hours

අයහපත් කාලගුණික තත්ත්වයෙන් අවතැන් වූවන්ට තවදුරටත් යුද්ධ හමුදාවෙන් සහන සැලසේ

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත වවුනියාව දිස්ත්‍රික්කයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් 2024 නොවැම්බර් මස 29 දින මානුෂීය සහනාධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. මනුසත් දෙරණ සහ දානපති මහේෂ් ජයවර්ධන මහතාගේ අනුග්‍රාකත්වය මත මෙම මෙම වැඩසටහනට ක්‍රියාත්මක කෙරිණී.

මෙම වැඩසටහනේදී, කන්දසාමිනගර් විපුලානන්ද විද්‍යාලයේ සහ කල්ලාරු ශ්‍රී සිත්ති විනයාගර් විද්‍යාලයේ පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයන්හි නේවාසිකව සිටින පුද්ගලයින් 117 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

අවතැනව සිටින පවුල් මුහුණදෙන දුෂ්කරතා සමනය කිරීමේ අරමුණින් වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 208 බී පෙදෙසෙහි වෙසෙන පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය සහ 562 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටී.ඩබ්ලිව්.ජී.ඩී.එම්. අමරසිංහ ආර්එස්පී පීඑස්සී හා 17 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ සහයෝගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ඉන් අනතුරුව, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය හා මඟපෙන්වීම මත වසන්තන්පුරම් ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් අවතැන් වූ සිවිල් වැසියන් 200 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පිරිනැමීමේ වැඩසටහනක් මන්නකන්දාල් ග්‍රාම නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි.

මනුසත් දෙරණ වැඩසටහන හා Dialog Axiata වෙතින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර 593 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 බලඇණිය ගැමුණු හේවා බලකාය වෙතින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම අවස්ථාවට, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති, පුඩුක්කුඩිරිප්පු සහකාර ප්‍රාදේශීය ලේකම් එස්. ජයකාන්තන් මහතා, මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ගෝකුලරාජ් මහතා සහ මනුසත් දෙරණ සහ Dialog Axiata හි කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වූහ.