Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2025 13:13:26 Hours

අතිගරු ජනාධිපතිතුමන් ‘මිහිඳු සෙත්මැඳුර’ සුවතා නිකේතනයේ සංචාරයක

16 වන ජාතික රණවිරු දිනයට සමගාමීව අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන් 2025 මැයි මස 19 දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත ජනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ යහපැවැත්ම පිළිබඳව සොයාබැලීය. එමෙන්ම, එම සුවතා නිකේතනයේ ඇඳන් තුළ සිට ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත ජනාධිපතිතුමන්ගේ සුරතින් ත්‍යාග වවුචර්පත් ද ප්‍රදානය කෙරිණි.

මෙම සංචාරය අතරතුරදී, නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් නිර්මාණය කරන ලද විශේෂ කලා කෘතියක් ද අතිගරු ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. පසුව, අතිගරු ජනාධිපතිතුමන් එම රණවිරුවන් සමඟ සුහඳ තේ පැන් සංග්‍රහයට සහභාගි වෙමින් ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය. එහිදී, ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ මෙහෙවර, සේවාවන් සහ ඉතිහාසය අළලා සැකසූ වාර්තාමය වීඩියෝපටයක් ද ප්‍රදර්ශනය කෙරිණි.

අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් ජාතියේ වීරෝදාර රණවිරුවන්ගේ ධෛර්යය හා පරිත්‍යාගයන් ඇගයීමට ලක්කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ, ‘මිහිඳු සෙත් මැඳුර’ සුවතා නිකේතනයේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප අනුග්‍රහය: www.presidentsoffice.gov.lk)