Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th September 2021 22:07:24 Hours

HSBC බැංකුවේ සහයෝගය ඇතිව ආසියානු පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානය ඔක්සිමාපක 300 ක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එක්ව මෙහෙයවනු ලබන 1904 සහ 247 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ට තම සෞඛ්‍ය තත්ත්වය සෘජුවම වෛද්‍ය නිලධාරීන්ට දැනුම්දිය හැකිය.

මෙම සේවාවට තවදුරටත් ශක්තියක් ලබාදෙමින් ආසියානු පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානයේ (A-PAD) මෙරට අධ්‍යක්‍ෂ ෆිර්සාන් හෂීම් මහතා (Mr Firzan Hashim) නිවෙස්ගතව ප්‍රතිකාර ලබන අඩු ආදායම්ලාභි පවුල්වල කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් අතර බෙදාදීම සඳහා ඔක්සිමාපක (Oximeters) 300 ක් ඉකුත් සිකුරාදා (24) දින පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරන ලදි.

කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගින්ට නිවෙස්ගතව ප්‍රතිකාර සිදුකිරීමේ කළමනාකරණ පද්ධතිය හදුන්වාදුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ආසියානු පැසිෆික් මහජන සෞඛ්‍ය ශාස්ත්‍රීය සම්මේලනයේ (Asia Pacific Academic Consortium for Public Health) උප සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් HSBC බැංකුවේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව ආසියානු පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානය විසින් මෙම ඔක්සිමාපක (Oximeters) පරිත්‍යාගය සිදුකෙරිණි.

නිවෙස් පදනම් කරගත් කළමනාකරණ පද්ධතියක් යටතේ වෛරසය ආසාදනය වී නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රුධිරයේ ඇති ඔක්සිජන් මට්ටම පරික්‍ෂා කරගැනීම සඳහා උපකාරි වන ඔක්සිමාපක (Oximeters) පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් HSBC බැංකුවේ සහ ආසියානු පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානයේ සියලුම සාමාජිකයින්ට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ස්තූතිය පුද කරමින් මෙම ඔක්සිමාපක (Oximeters) පරිත්‍යාගය භාරගනු ලැබීය.

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීමේදී උපකාරි වන ඔක්සිමාපක (Oximeters) බොහෝ දෙනෙකුට මූල්‍යමය හේතුන් මත මිලදීගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඒ හේතුවෙන් වෛරසය ආසාදිත රෝගීන් බරපතල ශ්වසන රෝගවලට හෝ මරණයට පත්වීමේ අවදානමක් ඇති බවට නිරීක්‍ෂණය වී ඇත.

ඔක්සිමාපක (Oximeters) පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ආසියානු පැසිෆික් ආපදා කළමනාකරණ සංවිධානයේ නීති හා සන්නිවේදන විශේෂඥ වජිනි හේරත් ගුණරත්න මහත්මිය ඇතුළු එම සංවිධානයේ සහ HSBC බැංකුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු එක්වූහ.