Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th February 2025 19:05:16 Hours

77 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සමරයි

‘නව පුනරුද යුගයක ඇරඹුම’ යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි මස 4 දින උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික පූජකවරුන්, ගරු අග්‍රාමාත්‍යතුමිය, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යවරුන්, හමුදා නිලධාරින්, සිවිල් සම්භාවනීය අමුත්තන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ.

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් පසුව ආරම්භ විය. එහිදී අග්‍රාමාත්‍යතුමිය විසින් ජනාධිපතිතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව, යුද්ධ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන්ව ජාතික ධජය එසවීමේ පීඨිකාව වෙත කැටුව යෑමෙන් අනතුරුව විවිධ සංස්කෘතීන් නියෝජනය කරන පාසල් සිසු සිසුවියන් විසින් අභිමානවත් සහ දේශප්‍රේමී හැඟීම් උද්දීපනය කරමින් ජාතික ගීය ගායනා කරන ලද අතර, එහිදී ජනාධිපතිතුමන් ජාතික ධජය එසවීය.

අනතුරුව, පාසල් සිසුවියන් කණ්ඩායමක් විසින් ‘ජයමංගල ගාථා’ සහ ‘දේවෝ වස්සතු කාලේන’ ශ්ලෝකය ගායනා කරමින් ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද කරන ලදී. පසුව, මව්බිම සහ ජාතියේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමේ උදාර මෙහෙවර පෙරදැරිව රට වෙනුවෙන් දිවිපිදූ සියලු දේශප්‍රේමීන් සහ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විය.

ඉන් අනතුරුව, ත්‍රිවිධ හමුදා සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ජනාධිපතිතුමන් වෙත පුද කිරීමෙන් පසුව ජනාධිපතිතුමන් ජාතිය ඇමතීමේ කතාව සිදුකරමින් රටේ ප්‍රගතිය සහ ඉදිරි ගමනේදී එකමුතුකමේ වැදගත්කම පිළිබඳව ප්‍රකාශ කළේය.

පෙළපාලියේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී කටයුතු කළ අතර 77 වන නිදහස් දිනයට අභිමානයක් එක්කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකායේ නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරින්, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින්, සේවයේ නිරතව සිටින සහ විශ්‍රාමික රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් සැදුම්ලත් වර්ණවත් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලිය ශ්‍රී ලංකාවේ හමුදාවන්හි විනය සහ ජාතික අභිමානය විදහා දක්වමින් ජනාධිපතිතුමන් වෙත ආචාරය පුදකළහ.

අනතුරුව, පැවති සංස්කෘතික නර්තනාංගයන්ගෙන් උත්සවය වඩාත් අලංකාරවත් වූ අතර, එමඟින් ශ්‍රී ලංකාව තුළ පවතින සංස්කෘතික විවිධත්වය ලොවට විදහා දැක්වීය. උත්සවය සමාප්තියේදී සියලු ජාතීන් නියෝජනය කරමින් පාසල් සිසුවියන් ජාතික ගීතය දමිළ බසින් ගායනා කරනු ලැබූහ.