Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2024 16:12:17 Hours

75 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික ආශීර්වාද ‘පිරිත් සජ්ඣායනයක්’

ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 75 වන යුද්ධ හමුදා සංවත්සරයේ අවසාන ආගමික වතාවත් සනිටුහන් කරමින් සම්ප්‍රදායික සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනය’ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ඔක්තෝබර් මස 05 දින පැවැත්විණි. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

වර්ණවත් පෙරහැරකින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සර්වඥ ධාතු කරඬුව වැඩම කරවීමත් සමඟ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායන වැඩසටහනේ වැඩකටයුතු ආරම්භ වූ අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් 'පිරුවානා පොත්' වහන්සේ වැඩම කරවන ලදී. අනතුරුව, භික්‍ෂුන් වහන්සේලා පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පුරාණ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව මහා සංඝරත්නය වෙත දැහැත්වට්ටිය පිළිගන්වමින් යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය වෙනුවෙන් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සඳහා ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් වැඩමවා වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ විසින් ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයයේ මුලසුන හෙබවූ අතර, ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ පූජ්‍ය ධම්මදින්න ස්වාමීන් වහන්සේ විසින් අනුශාසනාවක් පවත්වමින් යුද්ධ හමුදාව විසින් ජාතිය වෙනුවෙන් සිදුකළ කෘතහස්ත සේවය අගයමින් යුද්ධ හමුදාවේ අනාගතයට ආශිර්වාද කළේය.

යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයේ අවසානය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් කෝට්ටේ පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු අතිපූජ්‍ය මහා සංඝරත්නය වෙත ‘හීල් දානය’ පිරිනැමී සිදු කරන ලදී. රුවන්වැලිසෑය විහාරස්ථානයේ විහාරාධිපති ඊතලවැටුනවැවේ පූජ්‍ය ඤාණතිලක ස්වාමීන් වහන්සේ විසින් 2024 ඔක්තොම්බර් මස 6 දින උදෑසන දානමය අනුශාසනාව පවත්වන ලදී.

මෙම අවස්ථාවෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජෙනරල් සී.එස්. වීරසූරිය (විශ්‍රාමික) ආර්ඩබ්ලිවීපී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහ ලලි කොබ්බෑකඩුව මහත්මිය වෙත ඔවුන්ගේ සහභාගීත්වය අගයමින් විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්, හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, ශ්‍රේෂ්ඨ රණවිරුවන් දෙදෙනෙකුගේ භාර්යාවන්වන ලලි කොබ්බෑකඩුව මහත්මිය මෙන්ම මානෙල් විමලරත්න මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්, මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් පිරිසක් සහභාගී වූහ.