05th October 2024 17:24:53 Hours
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් කොළඹ අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 04 දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය එම දේව මෙහෙයට සහභාගී විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් පිළිගනු ලැබීය.
අනතුරුව, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපතිතුමන් විසින් දේව මෙහෙයේ තේමාව සිහිපත් කරමින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී. පසුව, දේව මෙහෙය ආරම්භයේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධජය මෙන්ම අනෙකුත් සියළු යුද්ධ හමුදා රෙජිමේන්තු සහ ආයතනික ධජයන් වෙත ආශිර්වාද කිරීමෙන් පසුව විශේෂ දිව්‍ය පූජාවක් පවත්වන ලදී. එම අවස්ථාවේ දී පූජකතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් රට වෙනුවෙන් කළ කැපවීම අගයමින් විශේෂ ආශිර්වාදයක් එක්කරන ලදී. ඉන්පසුව පැමිණි සියලුදෙනාම යුද්ධ හමුදා ගීතයට නැඟී සිටියහ.
ඉන්පසු ශ්‍රී ලංකා බැප්ටිස්ට් දූත මණ්ඩලයේ සභාපති ගරු විලී වර්නන් රණසිංහ පියතුමා විසින්, මව්බිම වෙනුවෙන් දිව් පිදු රණවිරුවන්ගේ සහ යුද බිමේදී මෙන්ම වෙනත් රාජකාරීන් වලදී අතුරුදන් වූවන්ගේ ආත්මයන් වෙනුවෙන් යාච්ඤා කළ අතර, ඊට සමගාමීව සදාකාලික තුවාල ලැබීමෙන් පසුව පුනරුත්ථාපනය වන සියලුම යුද්ධ හමුදා රණවිරුවන් වෙනුවෙන්ද ආශිර්වාද එක්කළේය. මෙහිදී පූජකතුමන්ගේ කෙටි යාච්ඤා දේශනාවේදී හමුදාවේ ප්‍රශංසනීය භූමිකාවන් අගය කළ අතර එහි අසමසම සේවාවන් ඉදිරියටත් කරගෙන යාම සඳහා ආශිර්වාදය එක්කලේය.
දේව මෙහෙය අවසානයේදී, මහජනතාව අතර ආධ්‍යාත්මික සුවය, සංහිඳියාව සහ සාමය ඇතිකිරීම උදෙසා මෙම දේවස්ථානය විසින් සිදුකරනු ලබන ආගමික සේවාව යුද්ධ හමුදාව විසින් අගය කිරීමේ සංකේතයක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අග රදගුරුතුමන් වෙත මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.
මෙතෝදිස්ත දේවස්ථානයේ සාමාජිකයින්, හිටපු යුද්ධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් මෙන්ම සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මෙම දේව මෙහෙය සඳහා සහභාගී වූහ.