Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2024 12:56:27 Hours

75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසදී සඳුදා (07) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

මෙම රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූවේය.

රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ ආදරණීය මතකයන් සිහිපත් කිරීම උදෙසා යුද්ධ හමුදාව විසින් මෙම විශිෂ්ඨ උපහාරය පුදකරනු ලබයි. මීට වසර 15 කට ප්‍රථම අප වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රස්තවාදය තුරන් කරමින් රට එක්සේසත් කිරීමට දැක්වූ නිර්භීත දායකත්වය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙනුවෙන් සෑම වසරකම යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව උපහාර උත්සවයක් පවත්වනු ලබයි. රට තුළ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් තම වටිනා ජීවිත පරිත්‍යාග කළ දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ වීරත්වයට යුද්ධ හමුදාව වෙතින් දක්වනු ලබන ගෞරවාචාරය සංකේතවත් කරමින් මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වේ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව රණවිරු සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. පසුව සෙබලෙකු විසින් 2009 මැයි මාසයට ප්‍රථම දශක තුනක පමණ කාලයක් පැවති රුදුරු ත්‍රස්තවාදය පරාජයට පත්කරමින් වීරෝදාර රණවිරුවන් සිදුකළ අපරිමිත කැපකිරීම සිහිපත් කරමින් කෙටි කථනයක් සිදුකරනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මෙන්ම යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ මතකය නැවත ජීවමාන කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පළමුව පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව බලකාධිපතිවරුන්, රෙජිමේන්තු අධිපතිවරුන්, කර්නල් සේනාවිධායකවරුන් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් විසින් පුෂ්පෝපහාර දක්වා ගෞරවය පුද කරන ලදී.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදීත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මව්බිමේ එකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද එක්වූහ.