Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2020 09:30:32 Hours

71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘අභිෂේකම්’ ආශිර්වාද පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්‍රවූ සහ පිළිගත් ආශීර්වාදයක් ලෙස සැලකෙන ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාවක් කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ දී සෙනසුරාදා (03) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති බ්‍රිගේඩියර් නිමල් ගුරුගේ ගේ ආරාධනයකට අනුව, මෙම ආගමික උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූ අතර, බ්‍රිගේඩියර් හිමාල් ගුරුගේ ගේ සංවිධායකත්වයෙන් පැවති මෙම ආශීර්වාද පිංකම හින්දු පූජකවරුන් පිරිසක් විසින් හින්දු ආගමික චාරිත්‍රානුකූලව පවත්වනු ලැබීණි.

සාම්ප්‍රදායික විශේෂ හින්දු පූජාව ආරම්භ කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවට ආශිර්වාද පතා යුද්ධ හමුදා ධජය කෝවිල් මන්දිරය තුල තැන්පත් කිරීම සඳහා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ‘අභිෂේකම්’ පූජාවේදී යුද්ධ හමුදා ධජයන් කෝවිල් මන්දිරය තුල තැන්පත් කර සම්ප්‍රදායිකව හින්දු ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කරන ලදී.

පූජ්‍ය සිවා ශ්‍රී සුරේෂ් ප්‍රධාන පූජකතුමා (කුරුක්කල්) ප්‍රමුඛ දස දෙනෙකුගෙන් යුත් හින්දු පූජකවරුන් පිරිසක් විසින් හින්දු ආගමික චාරිත්‍රානුකූලව යුද්ධ හමුදාවට ආශිර්වාද පතා මෙම ආගමික මෙහෙය සිදුකරන ලදි.

මෙම සම්ප්‍රදායික ‘අභිෂේකම්’ පූජාව, පළතුරු සහ ගිතෙල් පූජාවකින් සමන්විත වූ අතර, හින්දු ආගමික චාරිත්‍රයක් වන ජලයෙන් සහ සුවඳ ද්‍රව්‍යයන්ගෙන් දේව ප්‍රතිමා දෝවනය කිරීම ද එහිදි සිදු කෙරිණි.

එමෙන්ම, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය. යුද්ධ හමුදා හින්දු සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙම ඵෙතිහාසික හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් සිවා ශ්‍රී සුරේෂ් තුමාගේ උපදෙස් අනුව ආගමික චාරිත්‍ර ඉටුකරන ලදි.

මෙම ආශිර්වාද පූජාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හින්දු ආගම අදහන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ. Authentic Nike Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%