Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2017 01:07:32 Hours

68 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අභියස ධජයන්ට සෙත් පතයි

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 68 වන යුද්ධ හමුදා සංවත්සරය දිනයට සමගාමීව පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය වන ඓතිහාසික ‍අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුඛයේ සියලු යුද්ධ හමුදා ධජයන් වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම, සඳුදා (02) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් සහ සෙසුනිලයින් රාශියකගේ නියෝජනයෙන් පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමා ජයශ්‍රී මහා බෝ මළුවට පැමිණීමත් සමඟ උත්සව කටයුතු ආරම්භ වූ අතර, ඊට ප්‍රථම අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමිපාණන් ගෞරව පූර්වකව ආවාසගෙට පැමිණ බැහැදුටුහ. සම්ප්‍රදායකව අටපිරිකර සහ පලතුරු පූජාකල යුද්ධ හමුදාධිපතිතුමන් ඉන් අනතුරුව, නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට යුද්ධ හමුදාවට සෙත්පැතීමට ආරාධනා කළහ.

යුද්ධ හමුදා මූලස්ථානය, ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු ප්‍රදේශ, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් ජයශ්‍රී මහා බෝධියේ පහල වැලි මළුවේ අද උදෑසන පෙලගැසුණු අතර, සම්ප්‍රදායික හේවිසි හඬ, මගුල් බෙර පෙරටු කරගත් පෙරහැරකින් පහල වැලි මළුවේ තෙවරක් සක්මන් කොටමැද මළුවේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ධජයන් භාරදුන්හ. අනතුරුව, සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන්ට එම ධජ භාරදීම සිදුකරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගෞරවාන්විතව ධජයන් ජයශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කිරීමෙන් අනතුරුව, ගරුතර මහා සංඝරත්නයසෙත් පිරිත් සඡ්ඡායනා කොට සියළු යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතූහ.

ශ්‍රී මහා බෝ සමිඳු වටා පිච්ච සහ නෙළුම් මල් අතුරු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක රට රකින සියළු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සහ ඔවුන්ගේ සුභසිද්ධිය පතා ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද පැතූහ. මහානායක හිමිවරුන් දෙනම විසින් සිදුකරන ලද විශේෂ දේශනාවන්හිදී යුද්ධ හමුදාව විසින් රට වෙනුවෙන් ඉටුකල කාර්යභාරය සහ කැපවීම මහා සංඝයා පැසසුමට ලක් කලහ.

ප්‍රධාන උත්සවයෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමා විසින් ජයශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් ජයශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාගේ සුභසිද්ධිය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු භාරකාර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමිපාණන්ට පූජා කළහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, විධායක ජෙනරාල්, ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, වන්නි ආරක්ෂක සේනා ආඥාපති, සියලු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරු, සේනාංකාධිපතිවරු, සේනාවිධායකවරු, බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

ජයශ්‍රී මහා බෝධියෙහි පැවති ආගමික උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු අනෙකුත් පිරිස දේශය වෙනුවෙන් අභිතව සටන් වැද රණක්ෂිතයට පත්වූ රණවිරුවන් 35 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අනුරාධපුර අභිමංසල - 1 සුවසහන මධ්‍යස්ථානයෙහි සංචාරයකද නිරත විය. එහිදී එම රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන් වෙත ත්‍යාග පාර්සල් පිරිනැමූ අතර, එම රණවිරුවන් සමඟ දිවා භෝජන සංග්‍රහයකටද යුද්ධ හමුදාධිපතිතුමා සහභාගී විය.

යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර පූජා භුමියෙන් නික්ම යාමට පෙර සඳහිරු සෑය වෙත ගොස් එහි ඉදිකිරීම් කටයුතු සොයා බැලූ අතර, සිය සංචාරය සනිටුහන් කරමින් පූජාභුමියේ ‘නා’ පැලයක් ද රෝපණය කළහ.

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී දළදා මාලිගයේ පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව අද (02) දින උදෑසන මෙසේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී සාම්ප්‍රදායික හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආගමික උත්සවය පැවැත්විණි. ඔක්තෝබර් මස 6 වන දින කතරගම කිරිවෙහෙරේද ඔක්තෝබර් මස 8 සහ 9 දිනයන්හිදී පනාගොඩදී ද ආගමික උත්සවයන් පැවැත්වෙනු ඇත. ඊට අමතරව, සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ, ජුම්මා මුස්ලිම් පල්ලියේ සහ ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේදී යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ආගමික පූජා සහ යාඤ්ඤාවන් සිදුකිරීමට කටයුතු සුදානම් කොට ඇත.

1949 ඔක්තෝබර් මස ස්ථාපිත කරන ලද යුද්ධ හමුදාව මේ වනවිට ස්වෙච්ඡා ඒකකයන් ද ඇතුලත්ව රෙජිමේන්තු 24 කින් සමන්විතව පවතී. 2009 වසරේ ත්‍රස්තවාදය පරාජය කරමින් ලැබූ විජයග්‍රහණයෙන් අනතුරුව යුද්ධ හමුදාව මේ වනවිට ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන ක්‍රියාදාමයේ නිරතව සිටී.

Best Sneakers | Nike React Element 87