Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 21:01:32 Hours

65 වන සේනාංකයේ මූලිකත්වයෙන් දමිළ සිසු සිසුවියන් අතර සිංහල සාහිත්‍ය කෘති බෙදාදීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකය වෙතින් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් එම සේනාංක බලප්‍රදේශයේ දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසු සිසුවියන් වෙත සිංහල සාහිත්‍ය කෘති බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර කොළඹ ශාන්ති පදනමේ අනුග්‍රහාකත්වය මත දකුණු ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සිංහල නවකතා රචකයෙකු වන මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරනු ලැබූ නවකතා සහ කෙටිකතා 4 ක දමිළ භාෂා පරිවර්ථනයන්හි පිටපත් 100 ක් මෙහිදී එම සිසු සිසුවියන් අතරේ බෙදාදෙනු ලැබීය.

දමිළ භාෂාවට පරිවර්තනය කරනු ලැබූ රුපියල් 50,000 ක වටිනාකමකින් යුත් මෙම නවකතා සහ කෙටිකතා පොත් මල්ලාවි, තුනුක්කායි, මුලන්කාවිල්, නොචිචිකුඩා සහ මඩු ප්‍රදේශයන්හී පාසල් 25 ක් වෙත බෙදාදෙනු ලැබූ අතර, මෙහි සම්බන්ධීකරණ කටයුතු 65 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජේ.ඩී.යූ.ටී. කුමාර විසින් සිදුකරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් 2022 නොවැම්බර් මස 15 දින මල්ලාවී මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ විසින් සිංහල සාහිත්‍ය ගද්‍ය සහ පද්‍ය දමිළ සිසුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් එම නවකතා සහ කෙටිකතා පොත් එම විදුහලේ විදුහල්පතිතුමන් වෙත භාරදෙන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව පුනරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය දුෂාන්තන් විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ හරවත් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් ස්තුති කථාව සිදුකරන ලදී.

65 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හී භටපිරිස් විසින් නොවැම්බර් මස 15 සහ 16 දෙදින තුල තුනුක්කායි, මුලන්කාවිල්, නොචිචිකුඩා සහ මඩු ප්‍රදේශයන්හී පිහිටි පාසල්වල සිසු සිසුවියන් අතර මෙම නවකතා සහ කෙටිකතා පොත් බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී විය.