Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2023 18:50:36 Hours

61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ‘මනෝ වෛද්‍ය ප්‍රතිකාර’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්

61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනා මූලස්ථානය සහ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ‘මනෝ වෛද්‍ය ප්‍රතිකාර’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී. 611 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ජී.සී.එම්.එච්. ගම්ලත් ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් පරිදි වෛද්‍ය ජිනංජලා ශානිකා විජේගුණසේකර විසින් මෙහෙයවනු ලැබූ මෙම දේශනය පසුගිය ඉරිදා (ජුනි මස 4) දින කෑගල්ල බෙරගල ප්‍රදේශයේ පිහිටි 611 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ඇතැම් රෝග සම්බන්ධව ඇතිවන මානසික පීඩාවන් වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩසටහන මඟින් මානසික ආතතිය සහ මානසික අවපීඩනය ආදී කරුණු පිළිබඳ දැනුවත් කෙරිණි. මෙම වැඩසටහනේදී නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් විවිධ මානසික ආබාධ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ද ලබාදෙනු ලැබීය.

දේශනය සමාප්තියේ ඒ සඳහා සහභාගී වූ නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම දේශනය පැවැත්වීම වෙනුවෙන් සිය කෘතඥතාව පුදකළහ. මෙම වැඩසටහන මඟින් මනෝ ව්‍යාකූලතා ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදෙනු ලැබිණි.

මෙම වැඩසහනට සමගාමීව, ආචාර්ය විජේගුණසේකර විසින් ජුනි මස 05 දින 611 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ දේශනයක් ද පවත්වන ලදී. මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 150 දෙනෙකු පමණ සහභාගී වූහ.

මෙම දේශනය තුළින් බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා අවකාශය උදාවිය. ආචාර්ය විජේගුණසේකර බුදුදහමේ මූලික සිද්ධාන්ත සහ නූතන ජීවිතයට ඒවායේ අදාළත්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ලබාදුන්නේය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.