Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd February 2024 17:31:28 Hours

57 වන වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය සාර්ථකව අවසන්

අඛණ්ඩව 57 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 23) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානය අසලින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත පැවැත්වූ මෙම මාර්ග ධාවන තරඟය බත්තරමුල්ල යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ සිට පනාගොඩ යුද්ධ හමුදා ජනපදය දක්වා කිලෝමීටර් 22 ක දුර ප්‍රමාණයකින් සමන්විත වූ අතර ඒ සඳහා කාන්තා කෙටි දුර ධාවන ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඇතුළුව රෙජිමේන්තු 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 131 දෙනෙකු සහභාගී වූහ.

ඒ අනුව, එදින පෙරවරු 6.00 ට ආරම්භ වූ මැරතන් ධාවන තරඟය දියත උයන, බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය සහ හබරකඩ ඔස්සේ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් අවසන් කෙරිණි.

මැරතන් ධාවන තරඟයේ සමාප්තිය පැවති ස්ථානය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපතිතුමන් එක්ව මාර්ග ධාවන තරඟයේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන ප්‍රදානය කරනු ලැබීය.

තරඟයේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

සමස්ථ ශූරතාවය (පිරිමි කාණ්ඩය) - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

සමස්ථ ශූරතාවය (කාන්තා කාණ්ඩය) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

පිරිමි කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.ඩී.එස්.ඩී. ගුණසේකර

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබල ජී.කේ.ඩී. මදුෂංක

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් කේ. සම්මුගේෂ්වරන්

කාන්තා කාණ්ඩය

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.සී.එස්. හේරත්

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එම්.එන්. නිදර්ශනී

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එල්.ඒ.එන්.ඩී. ලියනගේ