Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2023 07:40:38 Hours

553 පාබල බලසේනා මූලස්ථානයේ නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කෙරේ

74 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට සමගාමීව විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 553 පාබල බලසේනාවේ භටපිරිස් එම බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය පසුගිය සෙනසුරාදා (2023 ඔක්තෝබර් මස 14) දින විවෘත කරනු ලැබීය.

බලසේනා මූලස්ථානයේ පිහිටි බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර නොතිබූ අතර ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ පහසුකම් වැඩිදියුණු කරමින් මෙම බළලත් නිලධාරි හා සැරයන් නිවස්න‍ය ඉදිකරනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස්.කේ. පෙරේරා ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිමකරනු ලැබීය.

මෙම උත්සවයට සමගාමීව බලසේනා මූලස්ථානයේ මෙහෙයුම් සහ පරිපාලන අංශයන්හි පුහුණු ක්‍රමවේද වැඩිදියුණු කිරීමේ අරමුණින් නව දේශන ශාලාවක් ඉදිකිරීමට ද මුල්ගල් තබනු ලැබීය. මෙම ව්‍යාපෘතීන් සඳහා 553 පාබල බලසේනාවේ සියලු නිලයන්ගේ අනුග්‍රාහකත්වය හිමිවූහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ සුරතින් නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය විවෘත කරනු ලැබූ අතර නව දේශන ශාලාව සඳහා මුල්ගල් තැබීම ද එහිදී සිදුවිය. මෙම උත්වස අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.