Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2023 18:51:30 Hours

542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අන්තරායන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 542 පාබල බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් සිය බලප්‍රදේශයේ පාසල් ගුරු භවතුන් සහ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය අඟරුවාදා (ජූලි මස 25) දින මන්නාරම ප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි. ‍

භටපිරිස් විසින් මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගේ සහයෝගය මත සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා 542 පාබල බලසේනාවේ භටපිරිස්, මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් 50 දෙනෙකු සහ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලයේ කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ. මනෝවිද්‍යා වෛද්‍යවරයෙකු විසින් මෙම වැඩසටහන පවත්වනු ලැබූ අතර, එහිදී ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මත්ද්‍රව්‍යවල අතුරු ආබාධ සහ පවුල් ආරවුල්’ පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙම සමාජ උවදුරට ළමුන් ගොදුරුවීම වැළැක්වීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදී.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී සහ 542 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටී.එල්.එම්. චන්ද්‍රසේකර ආර්ඩබ්ලිව්පී පීඑස්සී ගේ උපදෙස් මත පවත්වනු ලැබූ මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් එම්.වී. ප්‍රනාන්දු විසින් සිදුකරන ලදී.