Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2023 17:06:08 Hours

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ වීර සෙබලාගේ නීර්භීත ක්‍රියාව, බස් රථයේ ගමන් කරමින් සිටි මගීන් 50 දෙනෙකුගේ ජීවීත බේරයි

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න පසුගිය සිකුරාදා (26) දින මහනුවර සිට මහියංගනය දක්වා ගමන්කරන බස් රථයක ගමන් කරමින් සිටියදි පෙරවරු 11.45 පැයට පමණ ඇතිවීමට ගිය විශාල අනතුරකින් බස් රථයෙහි ගමන් ගත් මගීන් පනහකට වැඩි පිරිසගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

බස් රථය උඩුදුම්බර ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි ගිය අතර මීටර් 50ක් පමණ දුර රියදුරු නොමැතිව බස් රථය ගමන් කළේය.

එම සිදුවීම දුටු බස් රථයේ ගමන්කරමින් සිටි යුද්ධ හමුදා සෙබල කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න යුහුසුලුව ක්‍රියාත්මක වී රියදුරු අසුනට ගොස් බසයේ තිරිංග තද කර මහත් පරිශ්‍රමයක් දරා රියදුරු නොමැතිව ගමන්කරමින් තිබු බස් රථය නවත්වාගන්නා ලදී.

කෝප්‍රල් කේ.එම්.බී.ආර්.කේ.එල් කරුණාරත්න නම් අභීත සෙබළා කඩිනම් ක්‍රියාත්මක වී එම ක්‍රියාමාර්ගය නොගත්තේ නම් බසය අඩි 2000-3000කට වැඩි උඩුදුම්බර ප්‍රපාතයට පෙරළී විශාල හානියක් සිදුවීමට තිබිණි. තම ජීවිතය ගැන පවා නොසිතා මගීන්ගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වූ මෙම යුද්ධ හමුදා සෙබලාගේ වීර ක්‍රියාව බස්රථයේ ගමන්ගත් සියලු දෙනාගේ ඇගයීමට ලක්විය.

පොලිසිය විසින් තුවාල ලබාසිටි බස් රථයේ රියදුරු මහතා ප්‍රතිකාර සඳහා ළඟම රෝහල වෙත රැගෙන යන ලදී.