Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2023 19:15:53 Hours

242 වන පාබල බලසේනාවේ භටපිරිස් පොතුවිල් සිංහල විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරයි

පොතුවිල් සිංහල විද්‍යාලයේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන පාබල සේනාංකයට අයත් 242 වන පාබල බලසේනාවේ භටපිරිස් එම විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර මාර්තු මස 27 වන දින පැවති උත්සවයකදී පාසල් සිසුන් වෙත පවරාදුන්හ.

306 බී 2 - වැලිවේරිය සිංහ සමාජය වෙතින් මෙම පුස්තකාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය, පුස්තකාල පොත් 1000 ක් සහ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන එම විද්‍යාලයේ සිසුවියන් 6 දෙනෙකු වෙත ශිෂ්‍යත්වයන් ද ප්‍රදානය කරනු ලැබීය. එ් අනුව, මෙහිදී සිසුන් 6 දෙනෙකු වෙත රුපියල් 2500/= ක මාසික ශිෂ්‍යත්වයන් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු වෙත රුපියල් 5000/= ක මාසික ශිෂ්‍යත්වයන් ද පිරිනැමිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ උපදෙස් සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි ගේ අධීක්‍ෂණය මත මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරනු ලැබීය. ඒ අනුව, 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි ගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි සහභාගි විය. එමෙන්ම, 306 බී 2 - වැලිවේරිය සිංහ සමාජයේ නියෝජිත නිලධාරින්, 242 වන පාබල බලසේනාවේ සේවයේ නියුතු සිවිල් සම්බන්ධීකරණ නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.