Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2023 20:55:30 Hours

24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත අම්පාර, අරන්තලාව, නුවරගලතැන්න පාසලේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 161 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ජූලි මස 31 දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ 95 වන කණ්ඩායමේ අනුග්‍රාහකත්වය මත පාසල් සිසු සිසුවියන් වෙත බෙදාදුන් පොත්, පාසල් බෑග්, සපත්තු, පැන්සල් ආදියෙන් සමන්විත එක් පාර්සලයක් රුපියල් 15,000/= ක වටිනාකමකින් යුක්ත විය. මෙම පරිත්‍යාගශීලී කණ්ඩායම මෙම වැඩසටහනට සමගාමීව පාසල් පුස්තකාලය වෙත පුස්තකාල පොත් කට්ටලයක් සහ ගුරු භවතුන් වෙත විශේෂ ත්‍යාග පාර්සල් ද පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදාවේ ඉල්ලීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම අවස්ථාවට 24 පාබල සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් ඕ.එන්. මානගේ ආර්එස්පී, 16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ආර්.එම්. අලවත්ත සහ ඉෂාන් පෙරේරා මහතා ප්‍රමුඛ කොළඹ ආනන්ද විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ 95 වන කණ්ඩායමේ සාමාජිකයින් ද සහභාගී වූහ.