Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2024 17:59:37 Hours

24 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් අම්/ගල්කන්ද ප්‍රාථමික විද්‍යාලය වෙත පරිත්‍යාග වැඩසටහනක්

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 24 පාබල සේනාංකය වෙතින් ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත අම්/ගල්කන්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත්දිගාමඩුල්ලේ විමලානන්ද හිමිපාණන් සහ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි ශාක්‍ය තරුණ සමූහයේ මුල්‍ය අනුග්‍රාහකත්වය මත 2024 ඔක්තෝම්බර් මස 28 දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහනේදී, පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා සම්පත් සැපයීමේ අරමුණින් පාසලට අවශ්‍ය ලිපිද්‍රව්‍ය සහ පාසල් තූර්ය වාදක කණ්ඩායම සඳහා අත්‍යවශ්‍ය සංගීත භාණ්ඩ පරිත්‍යාගයක් කෙරිණි. ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ මහාචාර්ය කෞමදී කරුණාගොඩ මහත්මිය ගේ සම්බන්ධීකරණය මත මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මෙම වැඩසටහනේ ආරම්භක දේශනය පවත්වමින් අධ්‍යාපනයේ වැදගත්කම සහ අඩු පහසුකම් සහිත පාසල්වල සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයතු සඳහා මෙවැනි පරිත්‍යාගයන් තුළින් සිදුවන දායකත්වය පිළිබඳ අවධාරණය කළේය. මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන් මෙවැනි දුෂ්කර පාසල්වල අධ්‍යාපන කටයුතු නඟාසිටුවීමට දක්වන දායකත්වය වෙනුවෙන් ශාක්‍ය තරුණ සමූහය වෙත සිය කෘතවේදීත්වය ද පුදකළේය. මෙම පරිත්‍යාගයන් මඟින් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරු භවතුන්ගේ ද ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රයෝජනවත් වන අතර, ඔවුන්ගේ ඉගැන්වීම් කටයුතු සහ පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකරනු ලබයි.