Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd March 2023 17:30:32 Hours

233 වන බලසේනා මූලස්ථානයෙන් වාකරේ ප්‍රදේශයට බහු කාර්යය පහසුකම් සංකීර්ණයක්

වාකරේ ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා 233 වන පාබල බලසේනා මූලස්ථානයේ භටපිරිස් විසින්ඉදිකරන ලද කුඩා ආහාර අලෙවිසැලක්, ආපනශාලාවක් සහ කරණවෑමිහලකින් සමන්විත බහු කාර්යය පහසුකම් සංකීර්ණය පෙබරවාරි 26 (ඉරිදා) විවෘත කරන ලදී. එම අවස්ථාවට 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග සහ 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි සහභාගී වූයේය.

233 වන පාබල බලසේනාවේ සහ ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාව යටතේ ස්ථාපිත සියළුම ඒකකයන්හි යුද්ධ හමුදා භටපිරිස් හි තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වය මත බහු කාර්යය පහසුකම් සංකීර්ණය ඉදිකරනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දැල්වීමෙන් පසුව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පහසුකම් වලින්ද සමන්විත මෙම බහු කාර්යය පහසුකම් සංකීර්ණය විවෘත කරන ලද අතර, අනතුරුව එතුමන් එහි නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙමින් එහි රාජකාරියෙහි නිරත යුද්ධ හමුදා භටපිරිස් සමඟ සුහඳව අදහස් හවුමාරු කරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග, 233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ, 6 වන ගජබා රෙජිමේන්තුවේ , 3 වන (සෙව්) කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.