Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2023 18:35:38 Hours

231 පාබල බලසේනාවේ භටපිරිස් මඩකලපුව නගරයේ අවුරුදු උත්සවය පවත්වයි

23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනාවේ භටපිරිස්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මඩකලපුව පොලිස් ස්ථානය සමඟ එක්ව සිංහල - දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 30 (ඉරිදා) දින මඩකලපුව නගරයේ වෙබර් ක්‍රීඩාංගනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී.

ප්‍රදේශයේ ජීවත් වන ජාතීන් අතර පවතින සංස්කෘතික, ආගමික සහ බහු වාර්ගික වටපිටාවක් තුළ සිවිල් - හමුදා සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කරනු ලැබීය.

අලුත් අවුරුදු උත්සවයේ මැරතන් තරඟය, පාපැදි තරඟය, බෝට්ටු තරඟය, ලිස්සන ගහේ නැගීම, කොට්ට පොර, කඹ ඇදීම, අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීම ආදී සම්ප්‍රදායික හා විනෝදාත්මක ක්‍රීඩා වලින් සමන්විත වූ අතර, උත්සවය අලංකාරවත් කරමින් සිංහල සහ දමිළ සම්ප්‍රදායන්ගෙන් යුත් නර්තන අංගයන්ගෙන්ද සමන්විත වූහ. සිංහල සහ දමිළ සිවිල් වැසියන් විශාල පිරිසක් ඉතා උද්යෝගයෙන් යුතුව අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගී විය.

ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලාමතී පත්මරාජා මහත්මිය, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ මඩකලපුව දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ මහතා සහභාගී වූ අතර, උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.