Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2023 22:15:13 Hours

23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංකයට අයත් 122 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් කිරින්ද, කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 150 දෙනෙකු වෙත රුපියල් 5,500.00 වටිනාකමකින් යුත් පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (24) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිදු පෙරේරා ගේ මඟපෙන්වීම සහ 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නදීක කුලසේකර ගේ අධීක්‍ෂණය මත 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ඒ.එස්. ගුණවර්ධන විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් දානපතියන් පිරිසක් මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වනු ලැබීය.

කිරින්ද ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 150 දෙනෙකු වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ උපදෙස් මත මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදී.

122 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාව සඳහා එම පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු කාර්යය මණ්ඩලය, 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.