Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2024 15:26:20 Hours

23 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 22 දින වැලිකන්ද, මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 35 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී විය.

මෙම වැඩසටහනේදී, සිසු සිසුවියන් වෙත අභ්‍යාස පොත්, පෑන් - පැන්සල්, කෑම පෙට්ටි, වතුර බෝතල් සහ මකන ඇතුළු අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය. මීට අමතරව, අත්‍යාවශ්‍ය ක්‍රීඩා කට්ටල සහ පාසල් ලිපිද්‍රව්‍ය ද එම පාසල වෙත පරිත්‍යාග කෙරුණු අතර ප්‍රතිලාභී සිසු සිසුවියන්ගේ පවුල් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර අඩංගු පෝෂණ මළු පරිත්‍යාග කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදා භටපිරිස් විසින් එම පාසලේ ප්‍රධාන ශාලාවේ පියස්ස අලුත්වැඩියා කර ළමා උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදුකරන ලදී. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් සියලුම සිසු සිසුවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සෙලාන් බැංකුවේ නියෝජිතයින් සහ කොළඹ ප්‍රදේශයේ වෙසෙන දානපතියන් කිහිපදෙනෙකු මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.

මෙම අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පි පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ (සැලසුම්) පී.ජී.එස්. අජිත් කුමාර මහතා, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පාසල්) ටී.ඒ.ඩී.වයි.ජී. තෙවරප්පෙරුම මහත්මිය, මූල්‍ය අනුග්‍රාහයකත්වය දැක්වූ පරිත්‍යාගශීලීන්, එම විද්‍යාලයේ ගුරු භවතුන් සහ දෙමාපියන් පිරිසක් ද සහභාගී වූහ.