Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th October 2023 20:24:27 Hours

222 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සේරුවිල පවුල් 32 ක් වෙත වියළි සලාක පාර්සල්

22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 32 ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (2023 ඔක්තෝබර් මස 06) දින කල්ලාර් ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ‘සහන සෙවණ’ පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ‘සුව දරු 2023 ව්‍යාපෘතියේ’ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ජයවර්ධනපුර ගංගොඩවිල විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ ‘මිතුරු කැල’ එකමුතුවේ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන්හ. එහිදී, එම අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල්, පරිප්පු, පිටි, නූඩ්ල්ස්, කුළුබඩු, ධාන්‍ය වර්ග, සීනි ඇතුළු වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.එස්.එස්. ඩයස් ආර්එස්පී විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මඟපෙන්වීමේ සහ අධීක්‍ෂණ කටයුතු සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා වැඩමවා වදාළ මහා සංඝරත්නය උදෙසා දහවල් දානය භටපිරිස් විසින් පූජා කරනු ලැබීය. ප්‍රදේශවාසීන් ද තම කලා කුසලතා ප්‍රදර්ශනය කරමින් උත්සවය වර්ණවත් කළහ.

මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.කේ.එස් පැරකුම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.එස්.එස් ඩයස් ආර්එස්පී, ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 222 පාබල බලසේනාවේ සහ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.