Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th July 2023 21:11:01 Hours

22 පාබල සේනාංකයේ භටපිරිස් සහ පාසල් සිසුන් සඳහා බන්ධනාගාර ‘ජීවිතය’ පිළිබඳ දේශනයක්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ප්‍රදේශයේ පාසල් සිසුන් සහ භටපිරිස් සඳහා ‘නොයා යුතු තැන්’ (අවසර නැති ස්ථාන) යන තේමාව යටතේ අධ්‍යාපන සැසියක් සංවිධානය කරන ලදී. මෙම සැසිය තුළින් සිරගත කළහොත් තමාට අත්විඳිය යුතු තීරණාත්මක හා කටුක ජීවිත අද්දැකීම් පිළිබඳ සහ යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන උපදෙස් ලබාදෙමින් සිසුන් දැනුවත් කරන ලදී.

ඒ අනුව පසුගිය බදාදා (ජූලි 05) දින කන්තලේ මධ්‍ය විද්‍යාලය, අග්‍රබෝධි ජාතික පාසල සහ ගන්තලාව මහා විද්‍යාලයේ පාසල් සිසුන් 600 කට අධික පිරිසක් කන්තලේ නගර ශාලාවේ දී උදෑසන මෙම දේශනයට සවන් දුන් අතර, එම දේශනය එම ස්ථානයේදීම එදින සවස 22 පාබල සේනාංකයේ සහ ඒ යටතේ පාලනය වන ඒකකයනහී යුද්ධ හමුදා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසුනිලයන් 350 දෙනෙකු සඳහා පවත්වන ලදී.

මෙම සැසි දෙක ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා සහ සහකාර බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) ජයන්ත සමන් ආදාසූරිය මහතා විසින් තරුණ පරපුර නීතිවිරෝධී ක්‍රියාවලින් වැළැක්වීමේ අරමුණින් පවත්වන ලදී. දේශනයේදී සිරගත ජීවිතය පිළිබඳව සවිස්තරාත්මකව විස්තර කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී. 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ එම 22 පාබල සේනාංකයේ බ්‍රිගේඩියර් එන්.එස්.එස් ඩයස් ගේ මඟපෙන්වීම යටතේ 5 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යූඑස්පී පීඑස්සී අයිජී ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.