Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2023 23:49:35 Hours

211 පාබල බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ පාසල් සිසුන් සහ සිවිල් වැසියන් සඳහා පානීය ජල පහසුකම් සපයයි

211 පාබල බලසේනාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම බලසේනාවේ භටපිරිස්හි දායකත්වයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික භවතෙකු විසින් ලබා දුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මැදවච්චිය, කූංගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ පාසල් සිසුන්ට සහ අවට ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා රු.2,000,000.00 පමණ වටිනා නව ජල පිරිපහදු ඒකකයක් (osmosis plant) පසුගිය සඳුදා (12) දින ස්ථාපිත කරන ලදී. පිරිසිදු පානීය ජල පහසුකම් නොමැතිකම හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් සිසුන් සහ සිවිල් වැසියන් වකුගඩු රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඊට විසදුමක් ලෙස 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී.පී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ඉල්ලීමකට අනුව ව්‍යපාරිකභවතෙකු විසින් මෙම නව ජල පිරිපහදු ඒකකය පරිත්‍යාග කරනු ලැබීය.

ඛනිජ ලවණ සහ ආම්ලික ද්‍රව්‍ය ප්‍රතිශතය වැඩි අගයක් ඇති මෙම ප්‍රදේශයේ ජලය පරිභෝජනයෙන් පසු ප්‍රදේශයේ ජනතාව අතර නිදන්ගත වකුගඩු රෝග (CKD) ඉහළ යාමේ වර්ධනයක් ඇති බව වාර්තා වී ඇත. මෙම ජල ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ පාසල් සිසුන් 2500 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දෙන දිගුකාලීන අවශ්‍යතාවයක් ඉටු කරනු ලබයි. 211 බලසේනාවේ බලසේනාධිපතිතුමන් සිදුකරනු ලැබූ ඉල්ලීම සලකා බලා කොළඹ ප්‍රදේශයේ වෙසෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සමන් ගුණතිලක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන ලදී. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී.පී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය ඉරිදා (11) දින ජල පිරිපහදු ඒකකය විවෘත කළේය. විවෘත කිරීමේ අවස්ථාව සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී මලවිආරච්චි මහතා, සමන් ගුණතිලක මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයින්, 211 පාබල බලසේනාවේ සහ 2 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.