Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2025 11:19:40 Hours

2025 රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන වෙසක් දිනය නිමෙත්තෙන් සංවිදානය කරනු ලබන රාජ්‍ය වෙසක් මහෝත්සවය 2025 අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් 2025 මැයි මස 10 දින නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.

“භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය 2025 මැයි මස 10 වන දින සිට 16 වන දින දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

මහා සංඝරත්නයේ මඟපෙන්වීම යටතේ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලද මෙම රාජ්‍ය වෙසක් උත්සවය ආගමික වැඩසටහන් මාලාවක් ඇතුළත් වන අතර, ඒ අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව විහාරස්ථාන සංවර්ධනය කිරීමේ කටයුතු ද සිදුකරනු ලබයි.

එමෙන්ම, කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ ‘ශ්‍රී සන්නස් පත්‍ර’ පිළිගැන්වීම සහ වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම මෙම වැඩසටහන් මාලාවේ කැපී පෙනෙන අවස්ථාවන් විය.

මෙම වැඩසටහන් මාලාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සහභාගි විය.

ආගමික සහජීවනය සහ ජාත්‍යන්තර බෞද්ධ සබඳතා ශක්තිමත් කරමින් පැවති මෙම අවස්ථාවට භික්ෂූන් වහන්සේලා, රජයේ නායකයින්, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ ජාත්‍යන්තර අමුත්තන් ද සහභාගි වූහ.

(ඡායාරූප සහ ලිපිය සඳහා අනුග්‍රාහකත්වය: www.presidentsoffice.gov.lk)