Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2025 10:07:00 Hours

2025 IPSC ජාතික රයිෆල් වෙඩිතැබීමේ III මට්ටමේ තරඟයේ සමස්ත ශූරතාවය දිනාගත් ශූරයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබීමේ සම්මේලනය (IPSC) මගින් සංවිධානය කරණ ලද 2025 IPSC ජාතික රයිෆල් වෙඩිතැබීමේ III මට්ටමේ තරඟයේ සමස්ත ශූරතාවය දිනාගත් යුද්ධ හමුදා කණ්ඩායම 2025 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ පැසසුමට ලක්විය.

එහිදී, ජාතික මට්ටමේ තරඟයේ විවිධ කාණ්ඩ ඔස්සේ සුවිශේෂී වෙඩිතැබීමේ දක්‍ෂතා දැක්වූ නිලධාරින් 08 දෙනෙකු සහ සෙසුනිලයන් 21 දෙනෙකු වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය ප්‍රසාදය පිරිනැමීය.

ජාතික රයිෆල් සංගමය සහ යෞවන හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලිය මාර්තු මස 06 සිට 08 දින දක්වා පූනෑව, නාවික හමුදා වෙඩි පිටියේදී දින තුනක් පුරාවට පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 12 ක් නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පිලිපීන ජාතික වෙඩික්කරුවන් තිදෙනෙකු ඇතුළුව වෙඩික්කරුවන් 213 දෙනෙකු සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළුඅවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර RWP RSP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පුහුණුකරුවන් පිරිසක් සහභාගි වූහ.