20th May 2025 16:22:42 Hours
16 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය 2025 මැයි මස 19 දින බත්තරමුල්ල, ජාතික රණවිරු ස්මාරක පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන් සහභාගි විය.
වර්ෂ 2009 මැයි මාසයට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන් සිය ජීවිත පූජාකරනු ලැබූ අතර එම වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය, නිර්භීතකම, කැපකිරීම සහ උත්තරීතර පරිත්‍යාගය වෙනුවෙන් මෙම උත්සවයේදී පුෂ්පෝපහාර පුදකර ඔවුන් වෙත ගෞරවාචාරය දැක්වීය.
මෙම රණවිරු සැමරුම් උත්සවය සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික පූජකවරුන්, යුද ප්‍රවීණයන්, දිංවගත රණවිරුවන්ගේ භාර්යාවන්/ළඟම ඥාතීන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ.
රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ආරම්භ කරමින් ජාතික ගීය ගායනා කල අතර, අනතුරුව ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු අවදිව සිට මුර සෙබළුන් රණවිරු ස්මාරකය තුළ ස්ථානගත කිරීම සිදුකෙරිණි. අනතුරුව, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සිහිකිරීමේ පාඨය කියවීම සිදුකරන ලදී. ඉන් අනතුරුව රණ බෙර වාදනය කර රණවිරු ස්මාරකය වෙත සියළු අයවලුන් පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව හිරු නැගෙනා මොහොතේදිත් හිරු බසිනා මොහොතේදිත් මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන මලවුන් සිහිකිරීමේ වාදනය සිදුකෙරිණි.
රණවිරු සැමරුම් උත්සවයේ වැදගත්ම අවස්ථාව සනිටුහන් කරමින් සියලුම සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ දිවංගත රණවිරුවන්ගේ ළඟම ඥාතීන් එක්ව දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.
හමුදා සම්ප්‍රදායානුකූලව මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන වාදනයෙන් අනතුරුව රණවිරු අනුස්මරණ උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරිණි.
(ඡායාරූප අනුග්‍රහය: www.presidentsoffice.gov.lk)