Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th February 2024 11:49:36 Hours

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම් භටපිරිස් මැලේසියානු සාමසාධක බලඇණි මූලස්ථානයේ සංචාරයක

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී අයිජී ප්‍රමුඛ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් 2024 පෙබරවාරි මස 12 දින ‘ටයර්’ (Tyre) නැමැති ප්‍රදේශයේ ස්ථාපිත මැලේසියානු සාමසාධක බලඇණි මූලස්ථානයේ යූඑන්පී 2-1 (Malaysian Peacekeeping Battalion UNP 2-1) පරිශ්‍රයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී අයිජී සහ පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් මැලේසියානු සාමසාධක බලඇණි මූලස්ථානයේ ආඥාපති කර්නල් බුහරාන් බින් සැගෝනි (Colonel Buhran Bin Sagoni) සුහඳ පිළිසඳරක නිරතවෙමින් ලෙබනනයේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ. එහිදී, මැලේසියානු සාමසාධක බලඇණි මූලස්ථානය සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉටුකරනු ලබන කාර්යභාරයන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. සුහඳ හමුව සමාප්තියේ දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරුණු අතර, සමූහ ඡායාරූප කිහිපයකට ද ඔවුන් සහභාගී වූහ.