Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2024 15:18:41 Hours

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 76 වන ජාතික නිදහස් දිනට සමගාමීව ලේබනනයේ පැවති සැමරුම් උළෙලට සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ලෙබනනයේ බේරූට් හි බොගෝසියන් (Boghossian) රඟහලේදී විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර, එම අවස්ථාවට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතාගේ ආරාධනයෙන් ලෙබනනයේ 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී, මේජර් ඊ.එම්.එච්.සී ද සේරම්, මේජර් එස්.එම්.එන්.එම් මාන්නගේ, මේජර් ආර්.එම්.පී.ඩබ්ලිව්.බී ඉලුක්කුඹුර සහ එම මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සංස්කෘතික කණ්ඩායම සහභාගී වූහ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් සහභාගී විය. උත්සව කටයුතු ආරම්භ කරමින් එතුමන් ජාතික ධජය ඔසවා ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද නිදහස් දින විශේෂ පණිවිඩය කියවනු ලැබීය.

උත්සව අවස්ථාවේදී 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් විසින් අලංකාරවත් නැටුම් අංගයන් ඇතුළත් සංස්කෘතික වැඩසටහනක් සහ කැලිප්සෝ සංගීත වැඩසටහනක්ද ඉදිරිපත් කළහ. අනතුරුව, ලෙබනනයේ සිදුකරනු ලබන සාමසාධක රාජකාරීන් අගයමින් 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරීතුමන් වෙත ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් විසින් විශේෂ සමරු ඵලකයක් පිරිනැමීය.

සිරියාවේ ඩැමස්කස් හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරාල් සහ 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරීතුමන්ත ගෞරවනීය ආරාධිතයින් ලෙස සහභාගී වූ උත්සව අවස්ථාවට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන්, ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු ලෙබනන් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.