17th March 2023 20:10:55 Hours
12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළලේ ටයිකොන්ඩෝ ශූරතාවය ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 16) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගි වූයේය. ටයිකොන්ඩෝ තරඟාවලිය මාර්තු මස 14 දින සිට 16 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ත්‍රිවිධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් 47 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 37 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
උත්සව පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් පිළිගැනීමේ කතාව පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් සටන් සංදර්ශන කිහිපයක් ද පැවැත්විණි. ඉන් අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය සමඟින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති හා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ එක්ව ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ටයිකොන්ඩෝ කණ්ඩායම පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනාගත් අතර කාන්තා කාණ්ඩයේ ශූරතාව ගුවන් හමුදා කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම විසින් දිනාගත්හ. පිරිමි කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන්භට ඩී.ටී.එල්. තිලකරත්න සම්මාන දිනාගත් අතර දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් වයි.කේ.එම්. මධුෂානි විසින් හිමිකරගත්තාය. ත්‍යාග ප්‍රදානෝත්සවය සමාප්තියේ මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ විසින් මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ තාක්‍ෂණික කමිටුවේ ප්‍රධානී මාස්ටර් කි සු ලී (Master Ki Su Lee), ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති සහ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව වෙතින් 12 වන ආරක්‍ෂක සේවා ටයිකොන්ඩෝ ශූරතාවලිය සංවිධානය කරන ලදී.