Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2023 16:26:55 Hours

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලිය - 2023, පිරිමි අංශයේ ශූරතාව යුද්ධ හමුදාවට

12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලිය - 2023 සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට ක්‍රීඩා දක්ෂතාවයන් පෙන්නුම් කරමින් පිරිමි අංශයේ තරඟ ඉසව් 19 කින් රන් පදක්කම් 18 ක් දිනා ගැනීමට සමත් විය.

වැලිසර නාවික හමුදා පිහිනුම් තටාක සංකීර්ණයේදී පසුගිය ජුනි මස 5 සහ 6 යන දෙදින තුල පැවති මෙම පිහිනුම් ඉසව්ව සඳහා ත්‍රිවිධ හමුදාවේ පිහිනුම් කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

පිරිමි අංශයේ ඉසව් 19 න් රන් පදක්කම් 18 ක් දිනාගනිමින් යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයෝ සමස්ත ශූරතාව හිමිකර ගත්හ. නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ පිහිනුම් ක්‍රීඩකයින් දෙවන හා තෙවන ස්ථානයන් හිමිකර ගත්හ.

යුද්ධ හමුදා කාන්තා පිහිනුම් ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගනිමින් තරඟාවලියේ කාන්තා අංශයේ දෙවැනි අනුශූතාවය හිමිකර ගත්හ. සමස්ථ තරඟාවලියේ දී යුද්ධ හමුදාවේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 22ක් දිනා ගැනීමට සමත් විය.

සමස්ත ශූරතාවලියේ (පිරිමි අංශය) යුද හමුදා පිහිනුම් ක්‍රීඩකයින් රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් ශූරතාවට සුදුසුකම් ලබා ගත් අතර නාවික හමුදා පිහිණුම් කණ්ඩායම රන් පදක්කම් 01ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගත්හ. මේ අතර ගුවන් හමුදා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 02ක් සමඟින් දෙවැනි අනුශූරතාව දිනා ගත්හ.

තරඟාවලියේ දක්‍ෂතම පිහිනුම් ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් බී.ඩී ෂෙහාන් හිමිකර ගත්හ.

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී තරඟකරුවන්ට අවශ්‍ය මාර්ගෝපදේශ සහ උපදෙස් ලබා දෙන ලදී.

තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ උප සභාපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල අවසානයේදී පිහිණුම් ශූරතා කුසලානය පිරිනැමීම සිදුවිය.