Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2023 11:16:06 Hours

12 වන පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් සිසු සිසුවියන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ව්‍යාපාරික ආයතනයක් මගින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත සූරියවැව හත්පෝරුව ද්විතීයික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන් 320 දෙනෙකු සඳහා රු.1600.00ක වටිනාකමකින් යුත් අධ්‍යාපනික පාසල් උපකරණ පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ඉරිදා (05) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.

කඩවත හර්ෂ ටේලර්ස් ව්‍යාපාරික ආයතනයෙහි කාර්යය මණ්ඩලය වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් විශාල පිරිසකට එම අධ්‍යාපනික පාසල් උපකරණ සඳහා වන මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මිහිදු පෙරේරා ගේ උපදෙස් මත 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ගේ අධීක්ෂණය යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හර්ෂ ටේලර්ස් ව්‍යාපාරික ආයතනයෙහි කාර්යය මණ්ඩලය, සෙසු නිලයින්, එම පාසලේ විදුහල්පතිතුමන් සහ පාසල් කාර්යය මණ්ඩලය සහභාගීත්වයෙන් පාසල් උපකරණ පාර්සල් තොගය බෙදාදෙනු ලැබූහ.