Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2023 20:01:19 Hours

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 06) දින යාපනය, වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි කලවානි පෙරපාසලේ ඉගෙනුම ලබන ළමුන් 28 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ කලවානි ප්‍රජා මධ්‍යස්ථානය වෙත පුටු 30 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදා භටපිරිස් විසින් වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල දරුවන්ගේ සහ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ අවධාරණය කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශයේ පිහිටි ‘Sakya Youth Group’ සංවිධානය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේදී, සෑම ළමයෙකු වෙනුවෙන්ම රුපියල් 1,100/= කට අධික වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කළ අතර කලවානි ප්‍රජා මධ්‍යස්ථානය වෙත රු. 1,200/= ක වටිනාකමකින් යුත් පුටු 30 ක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 521 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් ඩී.ජේ.පී. දික්කුඹූර ආර්එස්පී සහභාගී වූ අතර, 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.