30th October 2024 14:54:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලිය - 2024’ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසකගේ දක්‍ෂතා ප්‍රදර්ශනය කරමින් 2024 ඔක්තෝම්බර් මස 25 දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරඟාවලියේ පිරිමි කාණ්ඩයේ තරඟයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායටත් අනුශූරතාවය ශ්‍රී ලංකා පාබල හමුදාවටත් හිමි වූ අතර තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ක්‍රීඩකයින් සමත්වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කෝප්‍රල් ආර්.ඒ.එස්.එච්. ජයරත්න තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ එල්.එච්.ඒ.ජේ. මදුවන්ත සම්මාන දිනාගත්තේය. එමෙන්ම, තරඟාවලියේ දක්‍ෂතම පිතිකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් කේ.අයි. ලක්මාල් සම්මාන දිනාගත්තේය.
තරඟාවලියේ, කාන්තා කාණ්ඩයේදී 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ශූරතාවය දිනාගත් අතර අනුශූරතාවය 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් දිනාගනු ලැබීය. එම කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් කේ.එම්.එස්.එස්. විමලරත්න සම්මාන දිනාගත් අතර දක්‍ෂතම පන්දු රකින්නිය ලෙස 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එන්.එල්.එස්.කේ. ඉන්ද්‍රවංශ සම්මාන දිනාගත්තාය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා එල්ලේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.