Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th September 2021 16:00:18 Hours

‍‘දියකාවා යුද අභ්‍යාසය XI – 2021’ පුහුණු අභ්‍යාසයේදී භටපිරිස් සතුරන් සතුව තිබු වේල්ලේ බලය අත්පත් කරගනී

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ සහ විදේශීය හමුදාවන්හී සහභාගීත්වයෙන් සිදුකරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ඉකුත් අඟහරුවාදා (07) දින නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගෙන් (East Asian Liberation Fighters') මොරගහකන්ද වේල්ල නිදහස් කර ගැනීමේ පුහුණු නිදර්ශණ ක්‍රියාන්විතයක් පවත්වන ලදී. එහිදි කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් සහ නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන් (East Asian Liberation Fighters') අතර පැවති තියුණු වෙඩි හුවමාරුවකින් පසුව මොරගහකන්ද වේල්ල අත්පත් කර ගැනීමට භටපිරිස් සමත් වූහ.

නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන් (East Asian Liberation Fighters') විසින් වටලනු ලැබූ 'මොරගහකන්ද වේල්ල' ප්‍රදේශයට උදෑසන 6.00 පමණ හෙලිකොප්ටරයක් මගින් කඹ ආධාරය‍ෙන් 8 දෙනෙකුගෙන් සැදුම්ලත් කමාන්ඩෝ භටපිරිසක් ඇතුල් වූහ.

මෙම මෙහෙයුම සඳහා සහභාගී වූ විදේශීය හමුදා භටපිරිස් කමාන්ඩෝ භටපිරිස් සමග එක්ව විශේෂිත වූ යුද උපාය මාර්ගයන් සහ සැලසුම් අනුගමනය කරමින් මොරගහකන්ද වේල්ල ප්‍රදේශයට ඇතුළු වී සටන්කාමීන් සමග පැයක පමණ කාලයක් පුරා පැවැති ඉතා තියුණු සටනකින් පසුව එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරමින් ප්‍රදේශයේ බලය අත්පත් කර ගත්තේය.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ සඳහා ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් විදේශිය හමුදා භටපිරිස් 27 දෙනෙකු පුහුණු නිරීක්‍ෂකයන් ලෙස සහ පුහුණු අභ්‍යාසයන් සඳහා සහභාගීවන්නන් ලෙස සහභාගී වූහ.

මාලදිවයින් ආරක්ෂක හමුදාව නියෝජනය කරමින් නිලධාරියෙකු (Major), බළලත් නිලධාරි 1 (WO1) සහ කොමිසන් නොලත් නිලධාරීන් අට දෙනෙකු ඇතුළු කණ්ඩායමක්, මින්නේරිය පිහිටි ‘දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මැදිරිය වෙත පසුගිය ඉරිදා (5) දින පැමිණි අතර, එහිදි ‘දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මූලස්ථානයේ නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහ අභ්‍යාස උපදේශක බ්‍රිගේඩියර් සංක ජයමහ විසින් දියකාවා අභ්‍යාසයේ මෙහෙයුම් අංශ පිළිබද සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළහ.