Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2025 12:40:08 Hours

හිටපු යුද්ධ හමුදා උපදේශකවරුන් පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, පසුගියදා තම යුද්ධ හමුදා පුහුණු කාලයේදී පුහුණුව ලබාදුන් උපදේශකයින් පිරිසක් සමඟින් සුහද හමුවක් පැවැත්වූ අතර, එහිදී එතුමන් තම යුද්ධ හමුදා දිවිය හැඩගැස්වීමේදී ඔවුන් සිදුකළ සුවිශේෂී කාර්යභාරය සිහිපත් කළේය.

මෙම උපදේශක කණ්ඩායමට ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි I එම්.යූ.පී ධර්මදාස (විශ්‍රාමික) සහ බළලත් නිලධාරි I අයි. එම් පද්මනාදන් (විශ්‍රාමික), ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බළලත් නිලධාරි I අයි. එස් සෙනරත් බණ්ඩාර (විශ්‍රාමික), ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බළලත් නිලධාරි I ඩබ්ලිව්.ඒ.ආර්.එස් අමරසිංහ (විශ්‍රාමික), ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි II ඒ.එස්.එල් ප්‍රනාන්දු (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මාණ්ඩලික සැරයන් ඩී.ඩී.සී.කේ සිල්වා (විශ්‍රාමික) ඇතුළත් වූහ.

මෙම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්, 1989 වසරේ සිට 1990 වසර දක්වා කාලය තුල යුද්ධ හමුදාධිපතිතුමන් පුහුණුව හැදෑරූ දියතලාව, කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 31 (ඉන්දියාව) හි උපදේශකයින් ලෙස කටයුතු කළහ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ජී.කේ.එච් විජේවර්ධන RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වූ අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සියලු දෙනාම යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් පුහුණුව හැදෑරිය.