05th December 2024 21:52:02 Hours
හන්තාන කඳුවැටිය තරණය කිරීමේදී අතරමං වූ කොළඹ ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16 ත් 17 ත් අතර සිසුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2024 දෙසැම්බර් මස 04 දින 111 පාබල බලසේනාවේ භටපිරිස් විසින් බේරාගනු ලැබීය. සංචාරයක් සඳහා මහනුවර ප්‍රදේශය වෙත පැමිණි මෙම සිසුන් අනාරක්‍ෂිත ප්‍රදේශයක ගවේෂණයක යෙදී සිටියදී එක් සිසුවෙකුගේ පාදයක් ආබාධයකට ලක්වීමත් සමඟ මෙම සිසුන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. මීදුම සහිත තත්ත්වයන් හමුවේ ඔවුන් තවදුරටත් අසීරුතාවයට පත්ව ඇති අතර එම කඳුවැටිය තරණය කිරීම දුෂ්කර කරමින් ආපසු පැමිණීමට පැහැදිලි මාර්ගයක් නොමැතිව ඔවුන් අතරමං වී ඇත.
111 පාබල බලසේනාවේ සහ 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයන් මෙම සිදුවීම පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව එම සිසුන් නිරූපද්‍රිතව මුදවාගැනීමට ඔවුන් සමත්වූහ. යුද්ධ හමුදා සාමාජිකයන් රාත්‍රී 8.00 ට පමණ මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබූ අතර අලුයම වන විට එම සිසුන් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන ඒමට කටයුතු කරනු ලැබීය.