13th March 2023 17:30:02 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර බලප්‍රදේශයේ පිහිටි රෝහල්වල සුළු සේවකයන් විසින් පසුගිය බදාදා (8) දින සිදුකරනු ලැබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අඩපණ වී තිබූ එම රෝහල්වල අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 සහ 61 වන පාබල සේනාංකවල භටපිරිස් අවශ්‍ය සහයෝගය කඩිනමින් ලබාදුන්හ. ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 14 සහ 61 වන පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවට පත්ව සිටින ආසන්නතම රෝහල් වෙත භටපිරිස් යොමුකරනු ලැබූහ.
ඒ අනුව, 142 වන පාබල බලසේනාවට අයත් 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කොළඹ ජාතික රෝහලටත්, 143 වන පාබල බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කුරුණෑගල ශික්ෂණ රෝහල සහ 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මුල්ලේරියාව මානසික රෝහල වෙත ගොස් එම රෝහල් සේවාවන් අඛණ්ඩව සිදුකිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ. එමෙන්ම, 61 වන පාබල සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් බළන්ගොඩ මූලික රෝහල, ඇහැළියගොඩ මූලික රෝහල සහ කල්තොට රෝහලේ අත්‍යවශ්‍ය රාජකාරීන් ආවරණය කිරීම සඳහා කඩිනමින් යොදවන ලදී.
අදාළ ඒකකයන්හී අණදෙන නිලධාරින් මෙම හදිසි අවස්ථාවෙහිදී කඩිනමින් සිය ඒකකයන්හී භටපිරිස් එම රෝහල් වෙත යොදවමින් ඔවුන්ගේ කාර්යභාරයන් නිරීක්ෂණය කරනු ලැබූහ. එසේම, 11 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 111 වන පාබල බලසේනාවට අයත් 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා බලප්‍රදේශයන්හී පිහිටි මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ගම්පොළ මූලික රෝහල, නාවලපිටිය මූලික රෝහල සහ තෙල්දෙණිය රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන්හ.