Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2023 19:19:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සාමාජිකයන් වෙනුවෙන් හරවත් දේශනයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් ස්වේච්ඡා ඒකකයන්හි සේවයේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (ජූලි මස 18) දින ‘හමුදා දිවියට අදාළ රාජකාරිමය ගැටළු නිරාකරණය’ සහ ‘සමකාලීන ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ධනාත්මක චින්තනය සහ සැලසුම්කරණය’ යන තේමාවන් ඔස්සේ දේශනයකට සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ සංකල්පයකට අනුව සංවිධානය කළ මෙම දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් මෙහෙයවනු ලැබීය.

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආචාර්ය රංග කලංසූරිය මහතා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක නියෝජනය කරමින් එම බලසේනා මූලස්ථානයේ බළලත් නිලධාරි 1 විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, බළලත් නිලධාරී 1 එල්.වී.එස්.එස්. විජේසුන්දර විසින් හඳුන්වාදීමේ දේශනය සිදුකරනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක (තොරතුරු), ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති කීර්තිමත් මාධ්‍යවේදියකු වන ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් මෙම ‘ඩයිනර්ස් ක්ලබ්’ (diners’ club) රාත්‍රී භෝජන සංග්‍රහය අර්ථවත් කරන ලදී.

‘හමුදා දිවියට අදාළ රාජකාරිමය ගැටළු නිරාකරණය’ සහ ‘සමකාලීන ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ධනාත්මක චින්තනය සහ සැලසුම්කරණය’ යන තේමාවන් ඔස්සේ මෙම දේශනය පැවැත්විණි.

දේශනය සමාප්තියේ පැවති ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේදී සහභාගී වූවන්ට දේශකයානන් සමඟ ඔවුන් සතු ගැටලු පිළිබඳ සාකච්ඡා කර එ් සඳහා විසඳුම් ලබාගැනීමට ද අවස්ථාව හිමිවිය.

බළලත් නිලධාරි 1 එච්.එම්.යූ.සී. හේවානායක විසින් ස්තුති කථාව පැවැත්වීමෙන් අනතුරුව දේශනයට සහභාගීවූවන්ගේ අත්පොලසන් නද මධ්‍යයේ ආරාධිත කථිකයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම දේශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, පුහුණු පරීක්‍ෂක, බ්‍රිගේඩියර් පාලන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ ආයතනවල සේවයේ නියුතු ආරාධිත කොමිෂන් නොලත් නිලධාරීන් ද සහභාගී වූහ.