Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2023 19:15:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරී පුහුණු දිනය සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සිව්වන කාර්තුවේ නිලධාරීන්ගේ පුහුණු දිනය එම රෙජිමේන්තුවේ සියලුම ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණ.

පුහුණු දිනය වෙනුවෙන් 7 යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් කනිෂ්ඨ නිලධාරීන් සඳහා සරඹ පුහුණු අභ්‍යාස, කේවල සහ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් කිරීම් සිදුකරන ලදී. අනතුරුව, යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් සිය දේශනය සිදුකරමින් යුද්ධ හමුදාව තුල විනයාරක්‍ෂක නිලධාරියෙකු ලෙස රාජකාරි කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වන ලදී.

පුහුණු දින සන්ධ්‍යාවේ නිලධාරී නිවස්නයේ ‘Diners’ Club’ වැඩමුළුවක් පැවති අතර, ඒ සඳහා සියලුම නිලධාරීන් සහභාගී විය. එහිදී කොළඹ ‘මැගසින්’ බන්ධනාගාරයේ, බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා විසින් ‘බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ රාජකාරී සබඳතා පැවැත්වීම’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී. එම අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.