28th September 2024 20:41:32 Hours
ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සැප්තැම්බර් මස 28 දින පැවැත්විණ. ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ පැවති මෙම ආශිර්වාද පිංකම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාව, සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක, බලසේනා, සියලුම රෙජිමේන්තු, පුහුණු මධ්‍යස්ථාන සහ දිවයින පුරා ස්ථාපිත ඒකකයන්වල වර්ණවත් ධජයන් රැගත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්රමුඛ එම අංශයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළඳා මාළිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටින ගන්ධ කුටිය වෙත ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව පැමිණියහ.
යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සංකේතාත්මකව යුද්ධ හමුදා ධජය ආශිර්වාද එක්කිරීම සඳහා පෙරහැරේ ඉදිරියෙන් රැගෙන යනු ලැබීය. ආගමික වතාවත් මධ්‍යයේ සෙත් පිරිත් සජ්ඣායනා කර රට ආරක්ෂා කිරීම උදෙසා කැපවු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට ආශිර්වාද එක් කරමින් තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ධජයන්ට සෙත් පැතූහ.
ආගමික වතාවත්වලින් පසුව, එක් එක් අංශයන් නියෝජනය කරමින් එම අවස්ථාවට එක් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ධජයන් භාරගන්නා ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළඳා මාලිගාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වෙත සංකේතාත්මකව මූල්‍යමය පරිත්‍යාගයක්ද පිළිගන්වනු ලැබීය.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ශ්‍රී දළඳා මාලිගාවේ පහළ මහලේ පිහිටි බුද්ධ මන්දිරය වෙත ගොස් ගිලන්පස සහ බුද්ධ පූජාව පූජා කිරීම සඳහා ද සහභාගී වූහ.
අස්ගිරි පාර්ශවයේ, පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන් විසින් අනුශාසනාවක් සිදුකරමින් යුද්ධ හමුදාවේ 75 වසරක අභිමානවත් ඉතිහාසය සහ දේශයේ යහපත උදෙසා ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව ද පැසසුමට ලක්කරමින් අනුශාසනාවක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්රමුඛ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් ගෞරවනීය මහා සංඝරත්නය වෙත ‘පරිස්කාර’ පූජා කරනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්ෂක සේනා ආඥාපතිවරුන්, අධ්යක්ෂ මණ්ඩල අධ්යක්ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.