Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2023 18:52:37 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිවාස අවශ්‍යතා සහිත රණවිරුවෙකු වෙත නව නිවසක්

ශ්‍රී ලංකා පාබල හමුදාව දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යමින් එම රෙජිමේන්තුවේ සෙබලෙකුගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද තවත් එක් නිවසක් පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 04) දින රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූයේය.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත ආරම්භ කරන ලද මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ සිදුකරනු ලබයි. එහිදී ඒකක මට්ටමෙන් නිවාස අවශ්‍යතා ඇති භටපිරිස් තෝරාගැනීම සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපතිතුමන්ද නිවාස නොමැති රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා මෙම නිවාස ව්‍යාපෘතිය අඛණ්ඩවම සිදුකරගෙන යයි.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන වසර 20 කට අධික කාලයක සිට යුද්ධ හමුදාවේ සේවය කරන 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් රිකිල්ලගස්කඩ, අලවත්තේගම ප්‍රදේශයේ මෙම නව නිවස ඉදිකරන ලදී.

17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එච්.ජේ.එම්. ප්‍රේමතිලක ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම මත නව නිවස ඉදිකරනු ලැබීය.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.