23rd April 2025 08:03:11 Hours
කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් වන ‘Kang Gam Chan’ නෞකාව නිල සංචාරයක නිරත වෙමින් අද (අප්‍රේල් මස 22) දින කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකාව උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය.
අද උදෑසන පැවති මෙම උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි අතිගරු මියන් ලී මහත්මිය ද සහභාගි විය.
නියෝජ්‍ය අමාත්‍යතුමන් එම නෞකාවේ කපිතාන්වරයා සහ කොරියානු තානාපතිවරිය සමඟින් නෞකාව නැරඹීමට එක් වූ අතර, අනතුරුව පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යතුමන් මෙම නෞකා සංචාරය දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන බවත්, එය නාවික සහයෝගීතාවයේ ශක්තිය පමණක් නොව සමුද්‍රීය ආරක්‍ෂාව සහ කලාපීය ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු දැක්ම ද පිළිබිඹු කරන බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ සංවර්ධනය සඳහා කොරියාවේ දායකත්වය ද නියෝජ්‍ය අමාත්‍යතුමන් අවධාරණය කළේය. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ භාෂා ප්‍රවීණතාවයන් වැඩිදියුණු කිරීම සඳහා කොරියානු ජනරජය විසින් ඉටුකරන ලද වැදගත් කාර්යභාරය එතුමන් මෙම අවස්ථාවේදී අගය කළේය.
එහිදී, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන දිගුකාලීන සබඳතා අගය කරන බවත්, සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කොරියානු තානාපතිනිය පැවසීය.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ කොරියානු තානාපති කාර්යාලයේ නිලධාරින් ද සහභාගි වූහ.
(ඡායාරූප සහ ලිපි සඳහා අනුග්‍රහය: www.defence.lk)