23rd April 2025 21:52:29 Hours
ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අඛණ්ඩව සිය කැපවීම සහ සහයෝගය ලබා දෙමින් ශ්‍රී දළදා මාලිගා අධිකාරිය සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් බැතිමතුන්ට නොමිලේ ආහාර පාන ලබා දීම සඳහා දන්සල් සංවිධානය කර ඇත. තවද, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දිනකට බැතිමතුන් 5,000 ක් සඳහා තේ පැන් ලබාදීම සඳහා ද දන්සලක් සංවිධානය කර ඇත.
එමෙන්ම, යුද්ධ හමුදා භටපිරිස් ශ්‍රී ලංකා පොලිසිය සමඟින් එක්ව එම පූජනීය පරිශ්‍රයට පැමිණෙන බැතුමතුන් පාලනය කිරීම සහ ඔවුන්ගේ ආරක්‍ෂාව සැලසීම සිදුකරනු ලබයි.
තවද, යුද්ධ හමුදා භටපිරිස් දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා පැමිණෙන ආබාධිත වූ බැතිමතුන්ට ද එම ආගමික වතාවත් සිදුකිරීමට අවශ්‍ය සහය ලබාදෙනු ලබයි.
එසේම, මෙම අවස්ථාවට සහභාගී වන බැතිමතුන්ගේ සිත්සතන් නිවාලීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් විසින් බැති ගී ගායනා කිරීම සිදුකරනු ලබයි.
පූජනීය දළදා වහන්සේ වැද පුදා ගැනීමට රැස්වූ විශාල බැතිමතුන් සංඛ්‍යාවක් නිසා ඇති වූ තදබදය අවම කිරීම සඳහා 2025 අප්‍රේල් මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පැය 24 කටත් අඩු කාලයකදී ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ විශේෂ පිටවීමේ මාර්ගයක් ස්ථාපිත කරන ලදී. මෙම වැඩපිළිවෙල මඟින් වන්දනා ගමන අවසන් කර පිටවන බැතිමතුන් සඳහා දළදා මාලිගා පරිශ්‍රය තුළ ඇතිවන තදබදය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
2025 අප්‍රේල් මස 20 දින අස්ගිරි විහාරය සහ බොහෝ පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායක්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් සාදන ලද සීනි සම්බල් පාන් පැකට් 5,000 ක්, බත් පැකට් 39,200 ක් සහ වතුර බෝතල් 4,000 ක් බැතිමතුන් වෙනුවෙන් බෙදා දෙන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් ප්‍රකාරව යුද්ධ හමුදා භටපිරිස් විසින් අඛණ්ඩව සිව්වන දිනටත් ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු සිදුකරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය මගින් දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා පැමිණෙන විවිධ වයස් කාණ්ඩවල බැතිමතුන් පවතින උණුසුම් කාලගුණික තත්ත්වයට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය සංකූලතා වළක්වා ගැනීම සඳහා ප්‍රතිකාර ලබාදීමේ අරමුණින් ජංගම වෛද්‍ය කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන ලදී.
දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා බැතිමතුන් රැදී සිටින සියලුම ස්ථානයන් ආවරණය පරිදි මෙම ජංගම වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති අතර, මෙම ජංගම වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී දළදා මාලිගාවේ පිහිටුවා ඇති විශේෂ වෛද්‍ය මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. එසේම මෙම ජංගම වෛද්‍ය කණ්ඩායම් සඳහා අවශ්‍යවිටදී ගිලන් රථ සහාය ලබා ගැනීමට ද කටයුතු සූදානම් කර පවතී.
තවද, විශේෂ අවශ්‍යතා ඇති බැතිමතුන්ට සහාය වීමේ අරමුණින් රෝද පුටු 50 ක් සමඟින්, ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 50 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් ද 2025 අප්‍රේල් මස 21 දින සිට සුදානම් කොට පවතී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 22 දින පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් බැතිමතුන් සඳහා බත් පාර්සල් 29,280 ක් බෙදාදුන් අතර, තවත් බැතිමතුන් 10,000 කට අධික පිරිසකට පූජා භූමි පරිශ්‍රයේ පැවති දන්සලේදී ආහාර ලබාදීමට කටයුතු කරන ලදී.